Monday, August 31, 2009

කාවින්දි දුව



උපුටා ගැනීම දිවයින පුවත්පතිනි 07/08/2009

ගුරු සිසු නැණැස පාදමු කාවින්දි දුවට සිදු වූ දේ නොවේවා එවන් අපරාදේ
"බණ්‌ඩාර ඇහැලියගොඩ"

ළමයා මිනිසාගේ පියාය", "හෙට ලොව බාරගන්නේ අද ළමයාය", "පරපුරේ අභිමානය දරුවාය" වැනි වදන් අප දීර්ඝ කාලයක්‌ පුරා අසා ඇතත් අද ඒවා කිසිදු වටිනාකමක්‌ නැති සිල්ලර වචන බවට පත්ව ඇතැයි අපට සිතේ. ඒ එසේ වන්නේ අද අහන දකින දේවල් දෙස බලන විටය. පාසල ඇරී දරුවකුට තනි මග යා නොහැකිය. මග රැක සිටින වග වලසුන් වැනි මිනිස්‌ වෙස්‌ ගත් තිරිසන්නු කැකුළු මල් තලා පොඩිකර සිහිසුන් සිරුර හෙළ පල්ලම්වලට ඇද දමති. එල්ලාවල සිදුවීම එකක්‌ පමණි. පුවත්පතකට එබී බලන විට අහිංසක දරුවන් අපචාරයේ යොදවා ගන්නා ඇතැම් ටියුෂන් කඩකාරයන්, පාසල් ගුරුවරුන් මෙන්ම ඇතැම් විදුහල්පතිවරුන් ද අපට හමුවෙයි. ප්‍රශ්න පත්‍රයක්‌ වැරදි අසූවක්‌වත් නැතිව හදාගන්නට බැරුවාට සමහරුන් එවැනි වැඩවලට දක්‍ෂය. මේ සියල්ල කරන්නේ මහජන මුදලින් නඩත්තු වෙමිනි. රජයෙන් බොහෝ වරප්‍රසාද ලබමිනි. මෙවැනි අය ගෞරවනීයව ගුරු වෘත්තියෙහි නියෑළෙන ගුරු දෙවිවරුන්ට සහ ගුරු දේවතාවියන්ට ප්‍රසිද්ධියේම අගෞරව කරති. ඇලහැර බකමූණ ප්‍රදේශයේ පාසලක දරු දැරියන් අටදෙනකුට කනේරු ඇට කන්නට සැලැස්‌සුවේ එවැන්නන් නොවේද? මිශ්‍ර පාසලක තාරුණ්‍යයට එළැඹෙන දරු දැරියන් අතර ඇති වූ සුළු සිදුවීමක්‌ හෝ දෙකක්‌ මහමෙරක්‌ කරගෙන රට පෙරළන්නට හදන විට අත්දැකීම් අඩු ආවේගශීලී ඔවුන් දරුණු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නට ඇත. පාඩුව ගුරු භවතුනට හෝ පාසලට නොව අහිංසක දෙමාපියන්ටය. අප මාධ්‍යකරුවෝ එම සිදුවීම සියලු තොරතුරු සමඟ නොපැකිලව වාර්තා කළහ. පාසලේ නම් ගම්, දරුවන්ගේ විස්‌තර සියල්ලෙහි කිසිදු අඩුවක්‌ දක්‌නට නොවීය. අගනුවර උසස්‌ බාලිකා විද්‍යාලයක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අපේ අසල්වැසියකු වූ 14 හැවිරිදි කාවින්දී අනුත්තරා ජයවර්ධන ටයි පටියෙන් ගෙල වැලලාගත් පුවත අසන්නට ලැබුණේ මේ අල්ලපනල්ලේය. ඇය මියයන තුරුම කිසිදු මාධ්‍යයක්‌ පාසලේ නම සඳහන් කර තිබුණේ නැත. සමහර මාධ්‍ය කියා සිටියේ බරපතල තත්ත්වයක්‌ නොමැති බවය. ඇලහැර බකමූණේ තොරතුරු සොයා ගන්නා මාධ්‍යකරුවනට අගනුවර උසස්‌ බාලිකා විදුහල හඳුනාගන්නට නොහැකි විය. සෙසු බාලිකා විදුහල් මේ පුවතින් අන්දමන්ද වූයේ මේ සඳහා ඔවුන් සැක කළ බැවිනි. මේ සියලු ප්‍රශ්න ආරම්භ වන්නේ ඇය සතුව තිබූ ජංගම දුරකථනයක්‌ හසුවීමෙනි. මාපියන් දිවුරා කියන්නේ ඇයට ජංගම දුරකථනයක්‌ අරන් දී නැති බවය. එසේ නම් ඒ දුරකථනය කාගේද? උත්තර නැත. දුරකථනයේ අසභ්‍ය දර්ශන ඇති බවට පැතිර ගිය ආරංචියට අත්තටු ලැබිණ. පොලිසිය පැමිණ එවැන්නක්‌ නොමැති බව තහවුරු කරන තෙක්‌ අර අහිංසක දැරියට පස්‌පඩංගුවේ බැණවදින්නට අපේ මහත්වරු සහ නෝනාවරු සැදී පැහැදී සිටියහ. දහහතර වියෑති අහිංසකාවියට මඟුල් ජෝඩු කරන්නට ද සමහරු අමතක නොකළහ. පෙම්වතකු හෝ පෙම්වතුන් කිහිප දෙනකු අමතන්නට ජංගම දුරකථනය භාවිත කළ බවට කට කතා පැතිර ගියේය. තාත්තාගේ හෝ අම්මාගේ අතේ එල්ලී උදේ පාන්දර පාසල් වෑන් රථයට නගින අයුරුත් සවස වෑන් රථයෙන් බස්‌සවාගෙන ගෙදර යන අයුරුත් අපට හුරු පුරුදු දසුන්ය. ඇයට ප්‍රේම කරන්නට වයසක්‌ හෝ කාලයක්‌ නොමැති බව කවුරු කෙසේ කීවත් අපි දනිමු. එසේ නම් දුරකථනයේ රහස එළිදරව් කරවාගෙන ඇය නිදොස්‌ කළ යුතුය. තාත්තා වූ අතුල ජයවර්ධන විදුහලෙන් මෙය ඉල්ලා සිටියදීත් දුන්නේ නැත. ඒ සියල්ල තවමත් අභිරහස්‌ය. දුරකථනය සමඟ ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා විට ඇය කළේ එකම ඉල්ලීමකි. මෙය පියාට නොදන්වන ලෙසය. එයට ආරෝපණය කළ කටකතාව වූයේ ඔහු සැර පරුෂ අයකු බවය. තම එකම දරුවාට දරුණු ලෙස සලකන පියවරුන් සිsටින්නට පිළිවන. එහෙත් අසල්වාසීන් ලෙස පියා සහ දියණිය අතර ඇති ආදරය අපි දැන සිටියෙමු. අනුන්ගේ වකුගඩුවකින් ජීවත්වන පියා මේ පුවතින් සසල වෙනු ඇතැයි දියණිය කල්පනා කළ බව සිතන්නට කවුරුවත් සිටියේ නැත. දරුවකු පාසලට යවන්නේ දැඩිසත්කාර ඒකකයකදී සිහිසුන්ව සිටිනු දකින්නට හෝ මිනී පෙට්‌ටියකින් ගෙදර එන අයුරු දැක බලා ගන්නට නොවේ. නිවසේදී මෙන්ම වගකීම ද ආරක්‍ෂාවද ඔවුනට ඇතැයි දෙමාපියෝ සිතති. මෙය මියුසියස්‌ විද්‍යාලයට ද බකමූණ විද්‍යාලයට ද පොදුය. අපි දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රශ්නයක්‌ දෙස සානුකම්පිත සහ නම්‍යශීලී ලෙස බලන මෙන්ය. ඇය ඇත්තටම ජංගම දුරකථනයක්‌ භාවිත කළේ නම් එය මරණ දඬුවමට යටත් විය යුතු ආනන්තරීය පාපකර්මයක්‌ ලෙස සැලකිය හැකිද? කොලු කෙළි ප්‍රශ්නයක්‌ කනේරු ඇටවලින් අවසන් කළ යුතුද? අප මෙසේ ප්‍රශ්න කරන්නේ තවත් දස දහසක්‌ කාවින්දිලා වෙනුවෙනි. අපේ කාවින්දි අකීකරු දඩබ්බර බොරුකාර දැරියක වූවා නම් තවමත් ජීවතුන් අතරය. තමන්ට දරාගන්නට බැරි තරම් බරක්‌ පැටවූ විට උහුලාගන්නට නොහැකිව ඇය ජීවිතයෙන් වන්දි ගෙවුවාය. තමා වෙනුවෙන් මුළු ජීවිතයම කැපකරන රෝගාතුර පියා සහ මව පිළිබඳ සිතන්නට පවා ඉඩක්‌ නොතබන්නට ඇගේ හිත දරදඬු කළේ කවුද? ඇය අවසර රැගෙන වැසිකිළියට ගිය මොහොතේ සිට ගෙල සිරවූ ටයි පටිය සහිතව රෝහලට ගෙන ආ මොහොත දක්‌වා ප්‍රශ්න සමූහයකි. ඒවා සාධාරණීකරණය කිරීම නීතියට බාර කරමු. එහෙත් මෙවැනි හදිසි තත්ත්වයකදී පළමුවෙන්ම කළ යුතු ප්‍රථමාධාරවල මූලික දේවල්වත් ඉහළ පෙළේ පාසලක්‌ නොදැන සිටීම සහ නොකර සිටීම ප්‍රශ්නයක්‌ නොවන්නේද? චූදිතයකු බවට පත්කළ සිසුවිය වැසිකිළියට ගොස්‌ ප්‍රමාද වන විට සොයා බලන්නට කිසිවකු සිටියේ නැද්ද? ගෙල සිර කළ ටයි ගැටය මුදාහරින්නට කල්පනා නොකළේ ඇයි? බොහෝ අය මේවාට පිළිතුරු සොයන්නේ තම තම නැණ පමණින්ය. සිදුවූ දෙය නිවැරදිව වාර්තා වූයේ නම් කපුqටු පිහාටුවක්‌ මත වමනය කළ පුවත කපුටන් හත්දෙනකු වමනය කළ බව කියන්නාක්‌ මෙන් දුරදිග යන්නේ නැත. අවසානයේ සිදුවූයේ කුහුඹුවෙකුට වරදක්‌ නැති දියණිය වැරදිකාරියක්‌ බවට පත්කර මිහිදන් කිරීමය. සියල්ලන්ගේම පව් ඇගේ මිනී වළට හෙළන්නට තැත් කිරීම අවාසනාවකි. වසර 9 ක ඇගේ පාසල් ජීවිතය විමසා බලන්නේ නම් ඇය විසින් කරන ලද පෙර වැරදි සොයාගත හැකිය. එසේ වුවහොත් මෙය ඇගේ පළමු වරද නොවේ යෑයි තර්ක කළ හැකිය. ඇය ගෙදරදී මෙන්ම පාසලේදී ද ගුණ යහපත් දැරියක ලෙස හැදෙන වැඩෙන බව අපි දනිමු. දැන් කළ යුත්තේ ඇඟ බේරා ගැනීම හෝ සිදුවූ අපකීර්තියෙන් මිදීමට මං සෙවීම නොවේ. සිසු පරපුරේ මෙන්ම ගුරු පරපුරේ ද නැණැස පාදා මෙවැනි සිදුවීම් අවම කර ගැනීමය. එය කාවින්දියගෙන්වත් පටන් ගන්නේ නම් ඇගේ ජීවිතයට වටිනාකමක්‌ එකතු වනු ඇත. සමනළියකගේ දෙමාපියෝ ඇගේ වියෝවට අමතරව කට කතා නිසා විස්‌සෝපව පසුවෙති. බොහෝ මාධ්‍ය නිරාවරණය කරන්නේ සත්‍ය තොරතුරු නොවේ. සමකාලීන පාසල් දැරියන් දෙතුන් දෙනකු පමණක්‌ මළගෙදරට සහභාගි වූ බව එක්‌ පුවතක පළවී තිබිණ. එයට හේතුව පියා ඔවුන් එලවා ගත් බවය. එහෙත් මුළු කාලය පුරාම මළ ගෙදර රාත්‍රියේදී ඇගේ යෙහෙළියන් නිසා නිසල සිරුර බලාගන්නටවත් අපට ඉඩක්‌ නොතිබිණ. අවසන් කටයුතු තුනට සිදුකරන බව සඳහන් කළත් හතර දක්‌වා දීර්ඝ කළේ යෙහෙළියන්ට සහභාගි වීමටය. පාසලේ කුඩා කොඩියක්‌ පමණක්‌ දමා තිබුණද වසර 9 ක්‌ ඉගෙනුම ලැබූ ගෞරවය සලකන්නට ඇගේ යෙහෙළියනට පැය කිහිපයක්‌ හෝ නිවාඩු නොදීම පිළිබඳ අපි මහත් සේ කම්පා වෙමු. එහෙත් බොරැල්ලේ කනත්තේදී අසීමිත වූ පාසල් සිසුවියන් දේහය වටා රොක්‌ව හඬා වැළපෙන අයුරු අපි දුටුවෙමු. මේ අහිංසකාවිය මේ වන විට අප වෙතින් සමුගෙන ගොස්‌ දින කිහිපයකි. කටකතා සහ අසත්‍ය ප්‍රචාර තවමත් නිදැල්ලේ සැරිසරයි. උදේ හවා මල් නෙළා බුදුන් වඳින සතා සීපාවට පවා අසීමිතව ආදරය කරන, හැන්දෑවට වට පිටාවේ කුඩා දරුවන් පිරිවරා සෙල්ලම් කරන කාවින්දියට අපහාස කිරීම දැන්වත් නවතා දමන මෙන් අපි අයෑද සිටිමු. තම එකම දරුවා අහිමිවීමෙන් තවමත් ඇඬූ කඳුළෙන් පසුවන දෙමාපියන්ට මේ කටකතා සහ බේගල් ඉවසිය නොහැකිය. සකලවිධ මහත්වරුනි, නෝනාවරුනි, ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ නම් නිහඬව සිටීම ගෞරවයට කාරණයකි.

2 comments:

  1. "සකලවිධ මහත්වරුනි, නෝනාවරුනි, ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ නම් නිහඬව සිටීම ගෞරවයට කාරණයකි"

    මෙම කරුණ කරුණු දහසකට වඩා අගනා බව මට හිතෙනව.!

    ReplyDelete
  2. [said]
    සකලවිධ මහත්වරුනි, නෝනාවරුනි, ඇත්ත ඇති සැටියෙන් නොදන්නේ නම් නිහඬව සිටීම ගෞරවයට කාරණයකි.
    [/said]
    අනිවාර්යයෙන්. සමහරක් අයෙකු විසින් තමන්ගේ මනෝ ලෝක වල කරන ලද උපකල්පන ඇසින් දුටු සිද්ධි සේ එළියට දානවා අපිට පහුගිය දස් වල දැකගන්නට ලැබුනා.

    ReplyDelete

මොනව හරි කියන්න

Me anantha rathriye