දැනුම පොතට 01  

Posted by waru

දැනුම පොතට

කමතේ හරක් දැක්කීමේදී
භාවිත කරන සහැල්ල - අඬහැරය
දෙපයින් ගොයම් පාගන තැන - පාවර
කමතට ගෙනෙන ආහාරය - මූත්තෙට්ටුව
කුරුම්බා - කහපැන්
බුලත් මල්ල - කහට බොක්ක
ගොමමැටි ගා බිම සැකසීම - කමත ඇඹීම
කුලී වශයෙන් දෙන වී පංගුව - කොළ වලහන්
කිරි ඉතිරවීම - දේවකාරිය
ගව හිමියා - පට්ටිරාල
ගිනි මෙලවීම - රත්තා බෝකිරීම
තේ කහට - රතු ගඟුල් උගුර
කුකුළා - බිං පහුරා
උදැල්ල - බිංලියන්නාව
ආප්ප - කිරිකබලු
ඌරා - කන්බරියා
අලියා - මහ ඇඹයා
බුලත්විට - පැඟිරි විඩ
බොල් වී - සැහැල්ලු බෝය
මංගල ගොයම් පිඩ කමතේ තැබීම - උප්පිඩ

(පොත පත ඇසුරිනි)

කපුගේ  

Posted by waru

ජනහඬ කීද්දූ කොවුලාන කපුගේ




ඔහුගේ ගායනාව ජනතාව උදෙසාය. සහෘද ජනතාවගේ ලේ කඳුළු සුසුම් සේම අසාධාරණත්වයේ හමුවේ පයට පෑගෙන පුංචි මිනිසුන් වෙනුවෙන්ද හේ තම අභීත හඬ අවදි කළේය. ගුණදාස කපුගේ යනු ජනතා සිත් සතන් තුළ ගොලු ගැහුණු හඬ කීද්දූ කොවුල් කූජනයයි. ඔහු ජනතාව වෙනුවෙන් ගැයුවේය. සංවේදී වූයේය. දුක්වුණේය. මේ පත් තිරුව මත සටහන් වන්නේද අසාධාරණත්වයෙන් පයට පෑගුණු මිනිසුන් වෙනුවෙන් ගුණදාස කපුගේ සංවේදී වූ සටහන් කිහිපයකි.
කොලු ගැටයකු ගීතයකට තනුවක් දමා ගැනීමට කපුගේ ගේ නිවෙසට කතා කළේය. දුරකතතනයෙන්ම නිවසට එන පාර අසා ගත් මේ ගැටයා ගීතයද රැගෙන උදේ පාන්දර මහනුවර සිට නුගේගොඩ තලපත්පිටිය දක්වා පැමිණියේය. මුල් වරට කපුගේ දුටු ගැටයා දන නමස්කාර කර රචනා කරගෙන ආ ගීතය ඔහු අත තැබීය. කපුගේ ගීතය කියවා බැලූවේය.
“තනුවක් දාල තියන්නම්, පස්සෙ එන්නැ”යි කොලු ගැටයාට කීවේය. ඔහුට දුක හිතුනි. මහත් දුරක් ගෙවා පැමිණි තෙහෙට්ටුව නිසාම නාවර පෙරාගත් මුහුණෙන් යුතුව බයාදු බැල්මක් හෙලූ ගැටයාගේ හදවත තේරුම් ගත් කපුගේ එදිනට නියමිත සියලු වැඩ නවතා ගැටයාගේ ගීතයට තනුව හදා දුන්නේය.
මේ ගීතය පටිගත කරන දවසේ ශබ්දාගාරයට පැමිණි කපුගේට වැඳ නමස්කාර කළ ගැටයා ගීතයේ කර්තෘ භාගය ගැන විමසීය.
“ආසාවට කියපු සිංදුවනේ. සල්ලි මට එපා. ඒකෙන් තව සිංදුවක් හදා ගන්න.” කොලුගැටයාගේ හිස අතගා කපුගේ යන්නට ගියේය.
එදා පටන් කපුගේව මහත් ගෞරවයකින් ඔහු ඇදහුවේය. කොළඹට ආ හැමවිටම කපුගේගේ සුවදුක් බලා යාමට අමතක නොකළේය.

අලුත්ම කමිසය
දිනක් මේ ගැටයා කපුගේ බලන්නට එන අතර මඟදීම කපුගේ මුණගැසිනි. කොලුවා වාහනයට නංවාගත් කපුගේ නගරයට පැමිණියේය. ආපසු යන්න වාහනයට ගොඩවෙද්දී අසලට පැමිණි යාචකයෙක් සිඟමන් ඉල්ලුවේය. කපුගේට දෙන්නට යමක් නොතිබුනි. යාචකයා හැඳ සිටි ගොමස්කඩය දිහා අනුකම්පාවෙන් බැලූ ඔහු තමා හැඳසිටි අලුත්ම කමිසය ගලවා යාචකයාට දී වාහනයේ නැගී නිකම්ම ගෙදර ආවේය.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකට කපුගේට ආරාධනා ලැබිණි. ප්‍රසංගයේ මුල්ම ආරාධිත ශිල්පියා වූ බැවින් කපුගේ වේලාසනින්ම ගී ගයා නැවත කොළමට ගමන් ඇරඹුවේය. කඩයක් අසල සිටි මැදි වියේ මිනිහෙකු දුටු කපුගේ එකවරම වාහනය නැවැත්වීය. වාහනයෙන් බැසගත් කපුගේ ඔහු අසලට ගොස් පිටට තට්ටු කළේය. තලත්තෑනි මිනිහා කපුගේ එතරම් මායිම් නොකළේය.
“උඹට මතක නැද්ද මම උඹත් එක්ක හිරේ හිටියා...” දේශපාලන කරලියේ විමුක්තිකාමිකයකු වූ කපුගේ හිරේ ගිය කතාව ඔහුට මතක් කර දුන්නේය. අර මිනිහා කපුගේ බදා ගත්තේය.
“මං එදා හිටපු කපුගේම තමයි බං...... උඹට මොනවද වෙන්න ඕනෑ...?”
“මොනවත් නැහැ..මමත් දැන් හොදින් ඉන්නවා.”
මිනිහා කපුගේට කීය.
“එහෙනම් මම යනවා....” කොළඹ ආවිටක ගෙවල් පැත්තේ වරෙන්කො.”කපුගේ ආපසු වාහනයට නැංගේය.
“....ඌ මම හිරේ ඉද්දි මට හොඳ කෑම වේලක් දීල තියෙනවා...” අනතුරුව කපුගේ කීය.

නයිට් කඩේ තරුණයෝ
සංගීත ප්‍රසංගයකට ගොස් එන අතරේ කලගෙඩිහේනේ “නයිට් කඩයක්” රාත්‍රී ආහාරය සඳහා වාහනය නතර කෙරිණි. වේලාව මධ්‍යම රාත්‍රියද පසු වී තිබිණ. කඩය අසල මධුවිත තොලගාමින් සල්ලාපයේ යෙදෙන තරුණ පිරිසකි. කපුගේ දුටු තරුණයෝ “නින්ද නැති රැයේ” ගීතය ගයන්නට පටන් ගත්හ. මෙය කණවැකුණු කපුගේ රාත්‍රී ආහාර ගැනීම පසෙක ලා තරුණයන් අතරට වැදිණි. තරුණ පිරිස මහත් ගෞරවයෙන් කපුගේ වඩා හිඳුවීය. කපුගේ දැන් “නින්ද නැති රැයේ” ගීතය ගයයි. ඉන්පසු “මාරියාවේ” “උලලේනෝ...” ආදී ගීත 5ක් 6ක් තරුණයන් සමඟ ගැයීය.
අසාධ්‍ය රෝගයකින් පෙළෙණ පාසල් දැරියකගේ රෝගී තත්ත්වය සුව කිරීමට අවශ්‍ය මුදල් සෙවීම සඳහා මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි. කපුගේ එවර ආරාධිත ගායන ශිල්පියෙකි. සවස 3.30 සහ 6.30 ප්‍රසංග වාර අවසන් විය. සංවිධායකයන් පොරොන්දු මුදල ලියුම් කවරයක බහා කපුගේ අත තැබීය. අවසානයේ සංවිධායකයන් විසින් රෝගී වූ දැරිය කපුගේට පෙන්වීය. ඈ දුටු කපුගේ ගේ දෙනෙතට කදුළු පිරුණි. තම අත රැඳි තිබූ මුදල් සහිත ලියුම් කවරය රෝගී දැරිය අත තැබූ කපුගේ, ඇයට ඉක්මන් සුවය පතා වහා ඉන් පිටවිය. ලියුම් කවරයේ එවකට රු 12,000ක් තිබුණි. තම අතේ මුදලින් ගෙවා වාහනයට ඉන්ධන පුරවාගත් කපුගේ හිස් අතින් ගෙදර පැමිණියේය.
කපුගේ තනු නිර්මාණයට කළ ගීත අඩංගු කැසට් පට ගායක ගායිකාවන් විසින් කපුගේට ලබා දුන් විට කපුගේ මේවා ශ්‍රවණය කරන්නේ සංගීත ප්‍රසංගවලට යන අතරතුර වාහනය තුළදීය.. එසේ ශ්‍රවණය කිරීමත් ඒවාට ඉහළ අගයක් දී ගුණ වැනීමත් කලාකරුවකු තුළ තිබෙන දුර්ලභ ගුණයකි. එය කපුගේ තුළ නිරන්තරයෙන් දක්නට ලැබුණි.

සංගීත අසපුව
ප්‍රසිද්ධ ගුවන්විදුලි නාලිකාවකින් කපුගේ වඩාත්ම ප්‍රිය කරන ගීතය කුමක්දැයි වරක් විමසීය. ඔහු කීවේ ‘බාලිකාවියන් තක්සලා දොරින්..” ගීතයට තමා වඩාත් ඇලුම් කරන බවයි. මෙම ගීතයට කපුගේ ගේ කිසිදු දායකත්වයක් ඇත්තේම නැත.
ජනප්‍රිය ගායකයකු ගීතයකට තනුවක්දමා ගැනීමට කපුගේ ළඟට ගියේය. ඒ වන විට කපුගේ ගේ දෑතේ ඇඟිලිවල කොරයක් තිබුණි. මේ නිසා සර්පිනාවේ ස්වර සටහන් තබා ගැනීම අසීරු කරුණක් විය. නමුත් ඔහු ආපසු හරවා යැව්වේ නැත. තනි ඇඟිල්ලෙන් ස්වර සටහන් තබාගෙන ගීතයට අවශ්‍ය ස්වර ප්‍රස්ථාරය සකසා දුන්නේය. මේ ජනප්‍රිය ගායකයා ජානක වික්‍රමසිංහය.
කපුගේ තම සඟයන් සමඟ අවන්හලක් ළඟ නැවතිනි. ඔහු අසලට යාචක වෙසින් ආ පුද්ගලයකු “දරුවාට කිරිපිටි ගන්න” යැයි පවසමින් සිඟමන් ඉල්ලුවේය. කපුගේ තම සාක්කුවට අත දමා රුපියල් දහසේ නෝට්ටුවක් යාචකයාට දී “එහෙනම් කිරිපිටිත් අරගෙනම යනවා” යැයි පවසමින් සිය ස¼ඟයන් දෙස බැලීය.
“ඔය මිනිහා ඔය කළේ බොරුව.... කමක් නැහැ. ඌත් අපි වගේ මිනිහෙක්. මිනිහටත් හිතෙනවනේ අඩියක් ගහන්න... ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ?”
කපුගේ හැටි දන්නා සගයෝ කිසිත් කතා නොකළහ.
කපුගේ දැඩි මාක්ස්වාදී මත දැරූ පුද්ගලයෙකි. ඔහු අසීමිත ලෙස දුක් විඳින ජනතාව වෙත ළං විය. ඔවුන්ට හැකි හැම උදව් උපකාරයක්ම කළේය. ප්‍රභූ පැලැන්තිය සැම විටම ප්‍රතික්ෂේප කළේය. 2000 මාර්තු 13 දින අරලියගහ මැදුරේ සංගීත අසපුවක් සංවිධානය විය. එවක සිටි ජනාධිපතිනිය ප්‍රමුඛ මැති ඇමැතිවරු විශාල පිරිසක් එහි උන්හ. කපුගේ එහි ආරාධිත ගායකයෙකි... ඔහුගේ වාරයේදී නිවේදිකාව කපුගේගෙන් විමසුවේ
“....මේ අසිරිමත් හැන්දෑවේ ජනාධිපතිතුමිය ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ඉදිරියේ අරලියගහමන්දිරය තුළ, දැන් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද...?යන්නයි.
කපුගේ ගේ පිළිතුර වූයේ
“.....මම දේශපාලන පළිගැනීමකට අනුරාධපුරයට මාරු කරපු වෙලාවේ මට ආශිර්වාදයක් වුණු ඒ රජරට වැව් තාවුල්ලෙන් හැමූ හුළඟ කවදාවත්, අරලියගහ මන්දිරෙන්වත් රොස්ම්ඩ් පෙදෙසින්වත් මට හැමුවේ නැහැ...” යන්නයි. ප්‍රභූන්ගේ නළල් රැලි වැටුණි. තම කාර්යය හමාර කළ කපුගේ වහා එතනින් පිටවිය.

“ජෝති නුඹ පීචං නැත නුඹ සුප්‍රබුද්ධය”  

Posted by waru

ජෝතිපාලගේ ගීතවලින් කෙළින්වීමට උත්සාහ දරන ස්ටාර් පන්නයේ සංගීත වැඩසටහන් සංවිධානය කරන ටෙලිවිෂන් ආයතනත් ඒ හරහා කෙළින් වීමට උත්සාහ දරන ස්ටාර්ස්ලාටත් යමක් කිව යුතුය.
එක් යුගයකදී හූවලින් බැට කෑ ජෝති තවත් යුගයකදී නැතුවම බැරි ගායකයා බවට පත්වීම දෛවයේ හාස්කමක්දැයි නොදනිමි.

ස්ටාර් පන්නයේ වැඩසටහන් කරන්නේ සල්ලි හොයන්නටය. ස්ටාර්ස්ලාත් උත්සාහ කරන්නේ සල්ලි හොයන්නටය.
දිවයින ඉරිදා සංග්‍රහයේ දුරකථනය නාදවෙන්නට පටන් ගත්තේය. බුලත් විටක් හපමින් සිටි ගුණසිංහ මහත්තයා වීදුරු කාමරයේ සිට මදෙස බැලුවේය. ඒ ඔහු හිස එසවූ විටම පෙනෙන්නේ මා නිසාය.
”සූරි ඔයාට”
ගාමිණී උස් හඩින් කිවේය. එවකට ගාමිණී සුමනසේකර අපේ ප්‍රධාන උපකර්තෘවරයාය.
මම එතැනට ගොස් දුරකථනය ගතිමි.
”මල්ලි... මං ජෝති. ආටිකල් එක ටොප්ස් මල්ලි. කියලා වැඩක් නෑ... සුපර්.. වේලාවක හම්බුවෙමු..”
ලක්ෂ ගණනක් රසික රසිකාවන් පිනවූ හඬ මා වෙනුවෙන් මා සොයා ගලා ආවේ ඒ විදියටය. ඒ මින් වසර ගණනාවකට පෙර එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේ දිනකය. හරි දින ගණන් මට මතක නැත.
”මේ පාර ලිපිය හරිම සංවේදීයි”
”ලස්සනට ලියල තිබුණා”
”ඉවර කරලා තිබුණු හැටි හරිම හොඳයි.”
බොහෝ දෙනා මට එවැනි ප්‍රතිචාර දැක්වූහ.
”මේ පාර නම් හරි නෑ..”
එසේ කී අය ද නැත්තේ නොවේ.
”මල්ලී වැඩේ ටොප්ස්”
අවුරුදු තිස් ගණනක පත්තර කෙරුවාව තුළ ඒ ජාතියේ විචාර මට ලැබී ඇත්තේ දෙවරක් පමණි. එසේ පැවසූ එක්කෙනෙක් එච්.ආර්.ජෝතිපාලය. අනෙක් කෙනා නිහාල් නෙල්සන් ය. එකම වෙනස ජෝතිගෙ “මල්ලී” වචනය වෙනුවට නිහාල් “කසුරි” යන්න යෙදීම පමණි.
ඒ කාලයේ මම දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් “කාලීන සංවාද” නම් වූ විශේෂාංග ලිපි පෙළක් සම්පාදනය කරමින් සිටියෙමි. මෙහිදී විවිධ කලාකරුවන්ගේ සරසවි ආචාර්ය මහාචාර්ය වරුන්ගේ අදහස් මතවාද පෙළ ගැස්වීමි. බොහෝ ආන්දෝලනාත්මක කරුණු ඒ ලිපිපෙළ තුළ අඩංගු විය.
අමරදේවයන්ගේ සිට නන්දා මාලිනී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි පමණක් නොව පී.වී.නන්දසිරි, වික්ටර් පෙරේරා වැනි සංගීතඥයන්, සතියෙන් සතිය පෙළගැස්වීමි. හමු නොවූ ගායකයකු නැති තරම්ය. අනෙකුත් කලාකරුවන් ද එසේ මය. ටයිටස් තොටවත්ත, සුගතපාල ද සිල්වා, වැනි අයද කාලීන සංවාද පිටුවට එක්වූහ.
එය ශාස්ත්‍රීය විශේෂාංග පළවූ කොටසට අයත් වූ පිටුවකි. සැබැවින්ම කියනවා නම් ගායක ගායිකාවෝ, විද්වත්හු මේ පිටුවට තම අදහස් කියාපාන්නට මහත් උනන්දුවක් දැක්වූහ.
”කාලීන සංවාද” ගැන මෙතරම් දීර්ඝ අටුවාවක් ලියන්නට සිත්වූයේ එක්තරා ඓතිහාසික කාරණාවක් කියාපාන්නටය. මේ කාරණාව මා මෙහි සඳහන් කරන්නේ මහා ආඩම්බරයකිනි.
මගේ මතකය නිවැරැදි නම් ජෝතිපාල නම් වූ පොදු ජන ගායකයාට සති අන්ත පුවත්පතක ශාස්ත්‍රීය පිටුවක් පුරා තම අදහස් කියාපාන්නට අවස්ථාවක් සැලසුණේ මේ කාලීන සංවාද ලිපි පෙළේදීය.
ජෝති ඊට පෙර රසිකයනට හමුවූයේ සිනමා හෝ කලා පුවත්පත් පිටුවලිනි. මහා විද්වතුන් සමඟ, ප්‍රබුද්ධ කලාකරුවන් සමඟ එකම පිටුවකට පය තබන්නට ජෝතිට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.
ඒ ජෝතිට ප්‍රබුද්ධ යැයි කියාගත් රසිකයන් හූ කියූ කාලයයි. ඒ කාලයේ සරසවි බිමකට ජෝතිට පය ගසන්නටවත් ඉඩක් ලැබුණේ නැත. සරසවි කාරයෝ හූ කීහ. සිංදු කීම අත්හැර වේදිකාවෙන් බැස යන තෙක්ම හූ කීහ.
වරක් ඔහු ගම්පහ නගර සභා පිටියට පැමිණි අවස්ථාවක ද කවුරුන් හෝ පිරිසක් හූ කියන්නට පටන් ගත් නමුත් එදා නම් එය එතරම් සාර්ථක වූයේ නැත. පාසල් සිසුවකු වශයෙන් මම ද එදා ජෝති ගේ ‘සිංදු’ අසන්නට එතැනට ගොස් සිටියෙමි.
එහෙත් කාලීන සංවාද සඳහා කලාකරුවන් පෙළගස්වන කාලයේ මම දවසක් දයාසේන ගුණසිංහ මහත්මයා හමුවීමි.
”ගුණසිංහ මහත්තය මට හිතෙනව වෙනසකටත් එක්ක ජෝතිව ගන්ඩ”
”මරු අදහස”
බුලත් විට අනෙක් හක්කට මාරු කරමින් ගුණසිංහ මහත්මයා කීවේය.
එහෙත් මම ඉන් පෙර කිසිම දවසක ජෝතිව හමුවී නැත්තෙමි. ඔහු මා හඳුනන්නේ ද නැත. දුරකථනයෙන් හෝ කතාකර නැත. මාලිගාවත්තේ නිවාස සංකීර්ණයේ සිටින බව අසා ඇති නමුත් ඒ කොතැනකදැයි හරි හැටි දැන සිටියේ ද නැත.
මෙහිදී මගේ උදව්වට ආවේ ඡායාරූප ශිල්පි ගාමිණී මෙන්ඩිස් ය. කලාකරුවන්ගේ ඡායාරූප ගැනීමට විශේෂ හැකියාවක් සහ ඇල්මක් දැක්වූ ගාමිණී “යමු” ජෝති මගෙ යාළුවා” යැයි කීවේය.
ඉන්පසු දිනෙක උදේ නවයට විතර ගාමිණී මාත් කැටුව මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ජෝතිගේ ‘ෆ්ලැට්’ එකට ගියේය.
එහෙත් කිසිවකු පෙනෙන්නට නැත. ගාමිණී ‘ජෝති.. ජෝති” කීවේය. එහෙත් සද්දයක් නැත. සරදියෙල් පැළැන්තියේ කොණ්ඩයක් ඇති උරහිස් පළල් කෙනෙක් දොර ඇරගෙන පැමිණියේය.
”ජෝති මහත්තයා පාන්දර ආවේ. සංගීත හතඅටක්ම... දැන් හොඳටම බුදි...”
”කියන්ඩ ගාමිණි මෙන්ඩිස් ඇවිල්ල කියලා හදිස්සියකට”
ගෝලයා ඇතුළට ගියේය. මිනිත්තු හතඅටක්ම බලාසිටින්නට අපට සිදුවිය. එය දහයක් දොළහක් දක්වා ඇදී ගියේය. අන්තිමේදී ජෝති නිදිගැට කඩමින් අප වෙත ආවේය.
”ගාමිණී මල්ලි පාන්දරම?”
”මේ අපේ ඉරිදා දිවයිනේ මහත්තයෙක්.. ජෝති අයිය ගැන ආටිකල් කරන්ඩ... කරුණාදාස සූරියආරච්චි” ගාමිණී කීවේය.
”ආ”
ජෝති එවැනි හඬක් නැඟූ නමුත් ඒ හඬෙහි විශේෂයෙන් මා නොදන්නා බව මොනවට පැහැදිලි විය.
පාසල් යන කාලයේ පටන් ආදරය කළ ගායකයා මා ඉදිරියේ සරම යම්තමින් ගැටගසාගෙන පපුවට මොනම ඇඳුමක්වත් නැතිව අවුල් වූ කෙස් රොද ඇඟිලිවලින් සකස් කරමින් සිටී.
”මල්ලි දැන් මොකක්ද කෙරෙන්ඩ ඕනෑ”
”මෙහෙමයි...” යනුවෙන් පටන්ගෙන කාලීන සංවාදපෙළෙහි තොරතුරු මම ජෝතිට කෙටියෙන් කීවෙමි.
”දැන් නම් මොනම ආටිකල් එකක්වත් කරන්ඩ බෑ.. පේන්නෙ නැද්ද මූණ එම්බාම් සයිස්.. පිංතූරයක් ගත්තත් අප්සැට්නෙ ගාමිණී මල්ලි... අනිත් එක අඳින්ඩ කියලත් හරිහමන් ෂර්ට් එකක් නෑ මං හිතන්නෙ..
එහෙම නෙමේ අපි වෙන දවසක කරමු. එදාට මම මල්ලිල වෙනුවෙන් දවසම වෙන්කරලා තියන්නම්. අනම් මනම් වැඩ මොකක්වත් නැතුව.. පාන්දර එළිවෙන ජාමෙට තමයි ආවේ... දන්නවනෙ ඉතින්..
ජෝති හඬ නඟා සිනාසුණේ නැතත් යම්තමින් සිනාසුණේය. ඔහු ඉතා වෙහෙසකර තත්ත්වයකින් සිටින බව තේරුම් ගැනීම අපට ද අපහසු නොවීය.
”එහෙනම් ජෝති අයිය දිනයක් දෙන්ඩ...”
”ලබන සඳුදා”
ඔය කියන ලබන සඳුදා පැමිණියේය. අදටත් තවමත් ආන්දෝලනයට ලක්වෙමින් තුඩ තුඩ කතාබහ වෙන අති සුවිශේෂ වචනය සහ ප්‍රකාශය පත්තර පිටු සොයා ගලාගියේ අන්න ඒ සඳුදා උදේ දහයට විතරය. මේ තරම් දීර්ඝ විස්තරයක් පෙළගැස්වූයේ ඒ “වචනය” කියාගන්නටය.
මාත් ගාමිණීත් ඒ සඳුදා උදේ නවයට විතර ජෝතිගේ ෆ්ලැට් එකට ගියෙමු.
සරදියෙල් පන්නයේ ගෝලයා අප එන මඟ බලා සිටියේය.
”ජෝති මහත්තයා පැය කාලෙන් එනවා කිව්වා. හදිස්සියෙම ගමනක් ගියා. සර්ලට ඉන්ඩ කිව්වා.”
පැය භාගයකින් විතර ජෝති හතිලමින් පැමිණියේය. ප්‍රමාදය පිළිබඳව සියවාරයක් පමණ සමාව ගත්තේය.
”යාළුවෙක් බලන්ඩ ඉස්පිරිතාලෙට ගියා.. පොඩි සපෝට් එකක් අරන් දෙන්ඩ.. ඒක හොඳයිනෙ නැද්ද ගාමිණී මල්ලි”
කතාබහ පටන්ගත්තේ එහෙමය. ජෝති බොහෝ දේ කීවේය. අන්තිමේදී ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
”මල්ලි ඔය කියන කට්ටිය, ප්‍රබුද්ධයිනෙ... එතකොට අපි කවුද”
ජෝති එක එල්ලේම ඇසු මේ ප්‍රශ්නයට දෙන්නට තරම් සුදුසු උත්තරයක් මා ළඟ තිබුණේ නැත. මම ගොත ගසන්නට වීමි.
”ඒ ගොල්ලො ප්‍රබුද්ධයි.. ජෝතිල ජනප්‍රියයි..”
”නෑ.. නෑ.. ඒගොල්ලොත් ජනප්‍රියයි. ඇත්තටම අපි කවුද මල්ලි හිතන විදියට”
මා ළඟ උත්තරයක් නැත. මම ජෝති දෙස බලා සිටිමි. මාළඟ තිබුණේ කරකියාගත හැකි දෙයක් නැතිවිට නැෙඟන තේරුමක් නැති මඳ සිනාවක් පමණි.
”මල්ලි ඒ ගොල්ලො ප්‍රබුද්ධයි. අපි පීචං”
ඔහු හඬ නඟා සිනාසුණ ද ඒ සිනාවේ කිසියම් ශෝකයක් ගැබ්ව තිබිණැයි මට සිතුණේ මා විසින් ලියූ ලිපිය කියවූ පසුවය.
”මල්ලි අපි පීචං.. හැබැයි මල්ලි අපි ස්ටේජ් එකට නඟින්නෙ පස්සෙ දෙන ලියුම් කවරෙ දිහා බලාගෙන නෙමෙයි. අපි සිංදු කිව්වෙ චියර් එකට... චියර් එක දුන්න නම් එළිවෙනකල් හරි සිංදු කිව්වා.
හැබැයි ඔය ප්‍රබුද්ධයි කියන කට්ටිය ලියුම් කවරේ බර ද කියල බලලා ඉවරවෙලා තමයි ස්ටේජ් නඟින්නෙ.
මල්ලි ඔය ප්‍රබුද්ධයි කියන කට්ටියත් පාටියකට ගියාම ට්‍රිප් එකක් යනකොට දෙකක් වදිනකොට කාගෙ සිංදුද මල්ලි කියන්නෙ.. පීචං අපේ සිංදු..
එකක් තියෙන්නෙ මල්ලි අපි ප්‍රබුද්ධ නෑ.. ඒත් අපි ගාව මනුස්සකම තියෙනවා... ඒගොල්ලන්ගේ සිංදුවල විතරයි මනුස්සකම තියෙන්නෙ. පපුවේ නෑ.. අපේ සිංදුවල තියෙන්නෙ.. ආලය, ප්‍රේමය විතරයි. ඒත් පපුවෙන් එකක් පුරෝල තියෙන්නෙ මනුස්සකම. අහිංසක මල්ලිලාගේ සංගීතවලට සල්ලි නැතුවත් සිංදු කියල තියෙනවා මල්ලි”
ජෝතිගේ අදහස් ඒ සති අන්තයේ පුවත්පතේ පළවූයේ “ඒගොල්ලො ප්‍රබුද්ධ නම්.. අපි පීචං..” යන සිරස්තලය යටතේය.
අඟහරුවාදා කන්තෝරුවට ගිය වහාම වාගේ දුරකථන ඇමතුමක් ලැබිණි.
”සූරි ඔයාට”
ගාමිණී සුපුරුදු පරිදි කීවේය.
”මං නිහාල් නෙල්සන්.. ජෝතිපාලට පිස්සුද... ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි. මට මේ ගැන කියන්ඩ දේවල් තියෙනවා.. මටත් චාන්ස් එකක් ඕනෑ... අලියගෙ තරම අලිය දන්නෙ නෑ. වාගේ.. ජෝතිපාලගෙ තරම ජෝතිපාල දන්නෙ නෑ..”
නිහාල් නෙල්සන් ආවේගශීලීව බොහෝ දේ කීවේය.
අපි නිහාල්ව සොයාගෙන කටුබැද්දට ගියෙමු.
ජෝතිපාල ගැන ලියන්නට ගොස් එයට සම්බන්ධ වූ නිහාල් ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත.
ඔහු ගයන්නේ “මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ” වැනි බයිලා වුවද ඔහුගේ ජීවිතය බයිලාවක් නොවේ. මම ඒ බව ඒ දිනවලදී ද සඳහන් කෙළෙමි. ඔහු මත්පැන් බිඳක් හෝ දුම්වැටියක් කටේ තියන්නේ නැත.
මම බොහෝ කලාකරුවන්ගේ නිවෙස්වලට ගොස් ඇත්තෙමි. ඒ දිනයේදී මා දුටු නිහාල්ගේ ආලින්දය තරම් සරල ආලින්දයක් මා දැක ඇත්නම් ඒ එකක් හෝ දෙකක් පමණි. සුවපහසු ගෘහයක් වුවද ඔහුගේ ආලින්දය සම්පූර්ණයෙන්ම වාගේ හිස්ය. පුටුවලට අමතරව තිබුණේ ඔහුගේ ඡායාරූපයක් පමණි. ඒක ගුණෙ අයියගෙ බජව් දාන කාමරයක් නම් නොවීය.
’ජෝතිගේ ලිපියත් නිහාල් නෙල්සන්ගේ ලිපියත් පළවු පසු කාලීන සංවාද ලිපි මාලාව අමුතුව මඟක් ගත්තේය. ජෝති පිළිබඳව මා දැන නොසිටි අප්‍රකට තොරතුරු අසන්නට ලැබුණේ ඉන් පසුවය.
ඉන්පසු සතියක මම කේමදාස මාස්ටර් හමුවන්නට ගියෙමි. දිවයින ඉරිදා සංග්‍රහයේ ශාස්ත්‍රීය පිටුවකට ජෝතිපාල කැඳවීම ගැන මාස්ටර් මට බොහෝ ප්‍රශංසා කෙළේය.
”මට චිත්‍රපටයක සංගීතය කරන්ඩ හම්බවුණා.. ඒක ටිකක් වාණිජ මට්ටමේ එකක්. හැමදාම ජෝතිගෙ හඬ තිරය පිටිපස්සෙන් ඇසෙන හින්ද මට හිතුණ මේකට වෙන ගායකයෙක් ගන්ඩ. හැබැයි චිත්‍රපටයේ නිෂ්පාදකයා මට පුන පුනා කිව්ව ජෝතිව ගන්ඩම කියලා.
චිත්‍රපටය කළා.. ඒ සිංදුව කිසිම පණක් නෑ.. චිත්‍රපටයේ සීන් එකම මලානික වෙලා ගිහින්.
පස්සෙ මම කිව්ව ජෝතිව එක්කරගෙන එන්ඩ කියලා.
ඒ පණිවුඩකාරයා ජෝතිව සොයාගෙන මාලිගාවත්තට ගියේය.
ඊයෙ රෑ එළිවෙනකල් බීලා. සංගීත පහක් ද හයක් ද.. මූණ එම්බාම්වෙලා.. වොයිස් එකක් නෑ.. මාස්ටර්ට කියන්ඩ වෙන දවසක් දාගන්ඩ නොවැරදීම එනව කියන්ඩ. අනේ මාස්ටර්ට කියන්ඩ තරහ වෙන්ඩනම් එපා කියලා..”
පණිවුඩකාරයා ආපසු විත් ඒ පණිවුඩය මාස්ටර්ට කීවේය.
”මට උත්තර එපා. මට ඕනෑ ජෝතිපාල.. මං කිව්වයි කියලා ඔහොමම ඔය මූඩ් එකෙන්ම එන්ඩ කියනවා”
ජෝතිපාල ආවේය. මාස්ටර් වරක් දෙවරක් සර්පිනාවෙන් තාලය අල්ලා දුන්නේය. ජෝතිපාල පෙම්වතාගේ දුක් ගීතය ගැයුවේය. තිරය පලාගෙන ජෝතිගේ හඬ පැතිර ගියේය.
”ජෝති මේ ගැන කාටවත් කියන්ඩ එපා..”
”ජෝති ගේ ඊළඟ ගුණේ තමයි කවදාවත් ඒ රහස හෙළිකෙරුවේ නැති එක. ඉයර් එකට සිංදු කියන්ඩ ජෝතිපාල තරම් කෙනෙක් මට ජීවිතේදිම හම්බවෙලා නෑ.” කේමදාස මාස්ටර් එදා මා සමඟ කීවේය.
”සමහර කලාකාරයො රට රටවල්වලට ගියාම එහෙ ඉන්න ලාංකිකයන්ට වාත වෙනවා. සිගරැට් බොනවා. ටෙලිෆෝනය ඉවරම කරලා දානවා. ඒත් ජෝති කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි.”
එහෙම කිව්වේ තවත් කලාකරුවෙකි.
දැන් මම මේ දීර්ඝ ලිපිය අවසන් කරන්නට මුල පුරමි.
ජෝතිපාල ගැන හදිසියෙන් ලියන්ඩ හිතුණේ ඔහුගේ ගීතවලින් කෙළින්වීමට උත්සාහ දරන ස්ටාර් පන්නයේ සංගීත වැඩසටහන් සංවිධානය කරන ටෙලිවිෂන් ආයතනත් ඒ හරහා කෙළින් වීමට උත්සාහ දරන ස්ටාර්ස්ලාටත් යමක් කිව යුතු බැවිනි.
එක් යුගයකදී හූවලින් බැට කෑ ජෝති තවත් යුගයකදී නැතුවම බැරි ගායකයා බවට පත්වීම දෛවයේ හාස්කමක්දැයි නොදනිමි.
ස්ටාර් පන්නයේ වැඩසටහන් කරන්නේ සල්ලි හොයන්නටය. ස්ටාර්ස්ලාත් උත්සාහ කරන්නේ සල්ලි හොයන්නටය.
”ජෝතිගේ සිංදු මිනිස්සු ඉල්ලනතාක් මං ජෝතිගේ සිංදු කියනවා.”
ස්ටාර් කෙනෙක් වූ සුරේන්ද්‍ර පෙරේරා කියා තිබිණි. සුරේන්ද්‍රට ජෝතිගේ හඬ සහ ගායන ශෛලිය පිහිටා තිබේ. එය වාසනාවකි. සුරේන්ද්‍ර අද ජීවත්වෙන්නේ ඒ වාසනා ගුණය නිසාය. ඒ වාසනා ගුණය නැති අය සුරේන්ද්‍රට ඊර්ෂ්‍යා කළ යුතු නැත. ස්ටාර්ලා හැමදෙනාටම ඒ වාසනා ගුණය නැත. ඒ නිසා ඔවුන්ට සංගීත ප්‍රසංග ලැබෙන්නේ නැත. ජෝතිගේ සී.ඩී. එකක් කරගන්නට නොහැකිය. ඒ ඉල්ලුමක් නැති නිසාය.
එහෙත් ජෝති තුළ තිබූ සියලු ගුණාංග සුරේන්ද්‍ර තුළ ඇද්දැයි මම නොදනිමි.
”මල්ලි අපි සිංදු කිව්වෙ මිනිස්සුන්ගෙ චියර් එකට.. කවරය දිහා බලන්නෙවත් නැතුව“
ඒ ජෝතිලාය. ඒකට කියන්නෙ මනුස්සකම කියලාය. හොඳ මනුස්සයෙක් කියන නම පමණක් ඉතිරිකොට තඹ දොයිතුවක්වත් ඉතිරි නොකොට ජෝති මියගියේය. ජෝතිගේ තරම් හැමදෙනාගේම හිත සවිමත් නැත. ඒ ඒ කාලයේය. දැන් චියර් එකට වඩා කවරය බලවත්ය.
ඒ ගැන දොසක් කියන්නටත් බැරිය. මුළු සමාජයම එහෙම වෙනස්වී ඇති බැවිනි.
එහෙත් ඛේදවාචකය මෙයයි. නාරද දිසාසේකර මියගියේ මහා සම්පතක් බඳු ගීතාවලියක් අපේ රටට ඉතිරි කරලාය. ආනන්ද සමරකෝන්, සී.ටී.ප්‍රනාන්දු, මොහිදින් බෙග්, කපුගේ, ෂෙල්ටන් පෙරේරා ආදීන් අපෙන් සමුගත්තේ එහෙම ධනයක් ඉතිරි කරලාය.
ජෝති සමුගත්තේ ද මහා ධනයක් ස්ථිර තැන්පතුවක තැන්පත් කරමිනි.
එහෙත් ස්ටාර් පන්නයේ තරුණ ගායකයන්ට අභියෝගයක් වන්නේ එවැන්නක් කළ හැකිවේද යන්නයි.
ජෝතිගේම සිංදු ඔවුන්ගේ සිංදු බවට පත්කොට ඒවා ඉතිරිකොට සමුගැනීමෙන් පලක් ඇද්දැයි හෙමින් සීරුවේ සිතා බැලීම වටී.


හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී”
අනුන්ගේ ගීවලින් නම් මේ ගී සෑයවල් බැඳීමේ තේරුමක් නැත.


ගල් අරනේ හැංගෙන්නා  

Posted by waru

සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.ගොඩක් ලස්සන සින්දුවක් හම්බ උනා.ඉතිං ඒක ඔයාලටත් දෙන්න හිතුනා.මටනම් පුදුම ලස්සනක් තියෙනවා මේ සින්දුවේ. ඔයාලටත් එහෙම ඇති කියල හිතනවා. මේ වගේ සින්දු දැන් රේඩියෝ වලත් ඇහෙනව අඩුයිනෙ.මේක සංගීතවත් කරල තියෙන්නේ එච්. එම්. ජයවර්ධනයන්. සින්දුව කියන්නේ අපි හැමෝම දන්න කියන දක්ෂ ගායිකාවක්. විශාරද නීලා වික්‍රමසිංහ.

ගල් අරනේ හැංගෙන්නා

උන් රහසේ ලං වෙන්නා
මා පුතු අල්ලං යන්නයි.........
නෑ එන්නට දෙන්නේ
මා පුතු ලඟ ඉන්නේ නාඩා නිදියන්නේ........


සඳුන් වනේ මල් නෙළනා සුරංගනාවෝ
සුවඳ දොවා ඇල් පවනේ
පුතුට ගෙනාවෝ


සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ
සසල ලොවේ නිමල සුවේ
සිතට උදා වේ




හඳ ගැන දිණමිණ  

Posted by waru





























අන්තර් ජාලයේ හම්බ වෙච්ච පුවත් කිහිපයක් මේ

චිත්‍රපටි  

Posted by waru

මගේ බ්ලොගයේ තිබුනු ඔක්කොම චිත්‍රපටි අලුත් තැනකට මාරු කලා.කැමති අයට බා ගන්න පුළුවන්.චිත්‍රපටි බානවමන් මෙන්න තැන http://www.a2zfilm.blogspot.com

අද අපට අමතක වූ අධ්‍යාපනයේ පියා  

Posted by waru



ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් මේ ශ්‍රීමතානන් සිහිවීම පිණිස තබනා කෙටි සටගනකි මේ.


එතුමගේ උපත සිදු වන්නේ 1884 ඔක්තෝබර් මස 13 දින අම්බන්ගොඩය. අම්බලන්ගොඩ වෙස්ලියන් ඉංග්‍රීසි පාසලෙහි මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර ශිෂ්‍යයා සියලු විෂයවලට දැක්වූ විශිෂ්ඨ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් ලැබ එවකට දක්ෂිණ ලංකාවෙහි ඉතා උසස් තත්ත්වයේ ඉංග්‍රීසි ආයතනයක් වූ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙහි ද්විතීයික අධ්‍යාපනය ලැබීමේ වාසනාව ලැබුවේය. රිච්මන්ඩ් විදුහලෙහි අධ්‍යාපනය ලැබීමේ අවසන් වන කාලයේ දී පාසලෙහි දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් සම්මාන ලැබීමේ භාග්‍යය ඔහුට හිමිවුයේය. 1901 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් දක්ෂතමයා වශයෙන් සමත්වූ ඔහු 1904 දී රිච්මන්ඩ් විදුහලෙහි උප ගුරු පදවියක් ලැබුවේය.


1910 දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන් ඔහු 1922 දී මහනුවර වාසල මුදලි ඒඩ්න් විජේසූරිය මෙනෙවිය සමඟ විවාහ විය. 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා ගාලු අසුනට ඉදිරිපත් වී ඉන් ද ජයග්‍රහනය කළේය.


1930 දී ලංකා ජාතික සංගමයේ සභාපති වූ මෙතුමා 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යට‍තේ ලංකාවේ පැවති ප්‍රථම සර්ව ජන මැතිවරණයේ දී ගාල්ලේ මන්ත්‍රීවරයා බවට පත්විය. ජාතික ඇඳුමින් සැරසී ප්‍රථම වරට සභාගැබට ඇතුලු වූ පුද්ගලයා වූයේ ද එතුමාය. එවකට ඇතිකල අධ්‍යාපන කා‍රක සභාවේ සභාපති තනතුරට ද පත්ව 1931 දී ප්‍රථම අධ්‍යාපන ඇමති ධූරයටද පත්විය. 1936 දී මතුගම නියෝජිතයා වී වසර 16ක් ම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය.


කන්නන්ගර යුගයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ බොහෝමයක් සිදු විය. හුදෙක් කන්නන්ගර යුගයට ස්වර්ණමය භාවයෙක් ගෙන දුන්නේ මෙම අධ්‍යාපන සංශෝධන ඇතිවීමය. එනම් රටේ අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම, ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම, වැඩිහිටි අධ්‍යාපන පහුසකම් සැපයීම, අධ්‍යාපනික උපයෝගී සේවාවන් ආරම්භ කිරීම, මව්භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කිරීම, ඉංග්‍රීසි භාෂාව දෙවෙනි විෂයක් ලෙස පිළි ගැනීම, නිදහස් අධ්‍යාපනයක් ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, පාසැල් විෂය මාලා ප්‍රතිසංස්කරණය (රටේ අවශ්‍යතාවන් හා ජාතික උරුමයන් ට ගැළපෙන අයුරින්) යනාදිය විය.


1924 දී ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීමෙන් පසුව ගුරුවරුනට වැඩි වැටුපක් ලබාදීම උදෙසා කටයුතු කළ අතර විශ්‍රාම වැටුප් ලබා දීමටද ද පියවර ගත්තේය.


ලාංකේය දරු දැරියනට නිදහස් අධ්‍යාපනය උදා කරළිම සදහා අනුපමේය සේවයක් ඉටු කළ කන්නන්ගර ශ්‍රීමතාණෝ වර්ෂ 1969 සැප්තැම්බර් මස 23 දි මෙලොවින් සදහටම සමුගත්තේ ය.


අවංක බව, ඉවසීම, දැඩි ආත්ම විශ්වාසය හා කැපවීමේන කටයුතු කිරීම මෙම සැබෑ මානව හිතවාදියාගේ චරිතයෙහි විශිෂ්ඨ ගුණාංගයක් විය. ජාතියේ උන්නතියට පළ වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණෝ සිහිපත් කරන මෙම මොහොතේ එතුමා වෙනුවෙන් කල හැකි උසස්ම උපහාරය වනුයේ එතුමාණන් විසින් කොතෙකුත් බාධක මධ්‍යයේ අප උදෙසාම ආරම්භ කල නිදහස් අධ්‍යාපන ක්‍රමය මේ රටේ මතු පරපුරේ ද සුභ සිද්ධිය උදෙසා දායාද කිරීමයි. එය අප සියලු දෙනාගේ යුතුකම හා වගකීම ද වන්නේය.


සන්නස හා නැණකිරන වෙබ් අඩවි මගින් බොහෝ දෑ උපුටා ගන්නා ලදී