Wednesday, June 10, 2015

කපුගේ

ජනහඬ කීද්දූ කොවුලාන කපුගේ




ඔහුගේ ගායනාව ජනතාව උදෙසාය. සහෘද ජනතාවගේ ලේ කඳුළු සුසුම් සේම අසාධාරණත්වයේ හමුවේ පයට පෑගෙන පුංචි මිනිසුන් වෙනුවෙන්ද හේ තම අභීත හඬ අවදි කළේය. ගුණදාස කපුගේ යනු ජනතා සිත් සතන් තුළ ගොලු ගැහුණු හඬ කීද්දූ කොවුල් කූජනයයි. ඔහු ජනතාව වෙනුවෙන් ගැයුවේය. සංවේදී වූයේය. දුක්වුණේය. මේ පත් තිරුව මත සටහන් වන්නේද අසාධාරණත්වයෙන් පයට පෑගුණු මිනිසුන් වෙනුවෙන් ගුණදාස කපුගේ සංවේදී වූ සටහන් කිහිපයකි.
කොලු ගැටයකු ගීතයකට තනුවක් දමා ගැනීමට කපුගේ ගේ නිවෙසට කතා කළේය. දුරකතතනයෙන්ම නිවසට එන පාර අසා ගත් මේ ගැටයා ගීතයද රැගෙන උදේ පාන්දර මහනුවර සිට නුගේගොඩ තලපත්පිටිය දක්වා පැමිණියේය. මුල් වරට කපුගේ දුටු ගැටයා දන නමස්කාර කර රචනා කරගෙන ආ ගීතය ඔහු අත තැබීය. කපුගේ ගීතය කියවා බැලූවේය.
“තනුවක් දාල තියන්නම්, පස්සෙ එන්නැ”යි කොලු ගැටයාට කීවේය. ඔහුට දුක හිතුනි. මහත් දුරක් ගෙවා පැමිණි තෙහෙට්ටුව නිසාම නාවර පෙරාගත් මුහුණෙන් යුතුව බයාදු බැල්මක් හෙලූ ගැටයාගේ හදවත තේරුම් ගත් කපුගේ එදිනට නියමිත සියලු වැඩ නවතා ගැටයාගේ ගීතයට තනුව හදා දුන්නේය.
මේ ගීතය පටිගත කරන දවසේ ශබ්දාගාරයට පැමිණි කපුගේට වැඳ නමස්කාර කළ ගැටයා ගීතයේ කර්තෘ භාගය ගැන විමසීය.
“ආසාවට කියපු සිංදුවනේ. සල්ලි මට එපා. ඒකෙන් තව සිංදුවක් හදා ගන්න.” කොලුගැටයාගේ හිස අතගා කපුගේ යන්නට ගියේය.
එදා පටන් කපුගේව මහත් ගෞරවයකින් ඔහු ඇදහුවේය. කොළඹට ආ හැමවිටම කපුගේගේ සුවදුක් බලා යාමට අමතක නොකළේය.

අලුත්ම කමිසය
දිනක් මේ ගැටයා කපුගේ බලන්නට එන අතර මඟදීම කපුගේ මුණගැසිනි. කොලුවා වාහනයට නංවාගත් කපුගේ නගරයට පැමිණියේය. ආපසු යන්න වාහනයට ගොඩවෙද්දී අසලට පැමිණි යාචකයෙක් සිඟමන් ඉල්ලුවේය. කපුගේට දෙන්නට යමක් නොතිබුනි. යාචකයා හැඳ සිටි ගොමස්කඩය දිහා අනුකම්පාවෙන් බැලූ ඔහු තමා හැඳසිටි අලුත්ම කමිසය ගලවා යාචකයාට දී වාහනයේ නැගී නිකම්ම ගෙදර ආවේය.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකට කපුගේට ආරාධනා ලැබිණි. ප්‍රසංගයේ මුල්ම ආරාධිත ශිල්පියා වූ බැවින් කපුගේ වේලාසනින්ම ගී ගයා නැවත කොළමට ගමන් ඇරඹුවේය. කඩයක් අසල සිටි මැදි වියේ මිනිහෙකු දුටු කපුගේ එකවරම වාහනය නැවැත්වීය. වාහනයෙන් බැසගත් කපුගේ ඔහු අසලට ගොස් පිටට තට්ටු කළේය. තලත්තෑනි මිනිහා කපුගේ එතරම් මායිම් නොකළේය.
“උඹට මතක නැද්ද මම උඹත් එක්ක හිරේ හිටියා...” දේශපාලන කරලියේ විමුක්තිකාමිකයකු වූ කපුගේ හිරේ ගිය කතාව ඔහුට මතක් කර දුන්නේය. අර මිනිහා කපුගේ බදා ගත්තේය.
“මං එදා හිටපු කපුගේම තමයි බං...... උඹට මොනවද වෙන්න ඕනෑ...?”
“මොනවත් නැහැ..මමත් දැන් හොදින් ඉන්නවා.”
මිනිහා කපුගේට කීය.
“එහෙනම් මම යනවා....” කොළඹ ආවිටක ගෙවල් පැත්තේ වරෙන්කො.”කපුගේ ආපසු වාහනයට නැංගේය.
“....ඌ මම හිරේ ඉද්දි මට හොඳ කෑම වේලක් දීල තියෙනවා...” අනතුරුව කපුගේ කීය.

නයිට් කඩේ තරුණයෝ
සංගීත ප්‍රසංගයකට ගොස් එන අතරේ කලගෙඩිහේනේ “නයිට් කඩයක්” රාත්‍රී ආහාරය සඳහා වාහනය නතර කෙරිණි. වේලාව මධ්‍යම රාත්‍රියද පසු වී තිබිණ. කඩය අසල මධුවිත තොලගාමින් සල්ලාපයේ යෙදෙන තරුණ පිරිසකි. කපුගේ දුටු තරුණයෝ “නින්ද නැති රැයේ” ගීතය ගයන්නට පටන් ගත්හ. මෙය කණවැකුණු කපුගේ රාත්‍රී ආහාර ගැනීම පසෙක ලා තරුණයන් අතරට වැදිණි. තරුණ පිරිස මහත් ගෞරවයෙන් කපුගේ වඩා හිඳුවීය. කපුගේ දැන් “නින්ද නැති රැයේ” ගීතය ගයයි. ඉන්පසු “මාරියාවේ” “උලලේනෝ...” ආදී ගීත 5ක් 6ක් තරුණයන් සමඟ ගැයීය.
අසාධ්‍ය රෝගයකින් පෙළෙණ පාසල් දැරියකගේ රෝගී තත්ත්වය සුව කිරීමට අවශ්‍ය මුදල් සෙවීම සඳහා මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි. කපුගේ එවර ආරාධිත ගායන ශිල්පියෙකි. සවස 3.30 සහ 6.30 ප්‍රසංග වාර අවසන් විය. සංවිධායකයන් පොරොන්දු මුදල ලියුම් කවරයක බහා කපුගේ අත තැබීය. අවසානයේ සංවිධායකයන් විසින් රෝගී වූ දැරිය කපුගේට පෙන්වීය. ඈ දුටු කපුගේ ගේ දෙනෙතට කදුළු පිරුණි. තම අත රැඳි තිබූ මුදල් සහිත ලියුම් කවරය රෝගී දැරිය අත තැබූ කපුගේ, ඇයට ඉක්මන් සුවය පතා වහා ඉන් පිටවිය. ලියුම් කවරයේ එවකට රු 12,000ක් තිබුණි. තම අතේ මුදලින් ගෙවා වාහනයට ඉන්ධන පුරවාගත් කපුගේ හිස් අතින් ගෙදර පැමිණියේය.
කපුගේ තනු නිර්මාණයට කළ ගීත අඩංගු කැසට් පට ගායක ගායිකාවන් විසින් කපුගේට ලබා දුන් විට කපුගේ මේවා ශ්‍රවණය කරන්නේ සංගීත ප්‍රසංගවලට යන අතරතුර වාහනය තුළදීය.. එසේ ශ්‍රවණය කිරීමත් ඒවාට ඉහළ අගයක් දී ගුණ වැනීමත් කලාකරුවකු තුළ තිබෙන දුර්ලභ ගුණයකි. එය කපුගේ තුළ නිරන්තරයෙන් දක්නට ලැබුණි.

සංගීත අසපුව
ප්‍රසිද්ධ ගුවන්විදුලි නාලිකාවකින් කපුගේ වඩාත්ම ප්‍රිය කරන ගීතය කුමක්දැයි වරක් විමසීය. ඔහු කීවේ ‘බාලිකාවියන් තක්සලා දොරින්..” ගීතයට තමා වඩාත් ඇලුම් කරන බවයි. මෙම ගීතයට කපුගේ ගේ කිසිදු දායකත්වයක් ඇත්තේම නැත.
ජනප්‍රිය ගායකයකු ගීතයකට තනුවක්දමා ගැනීමට කපුගේ ළඟට ගියේය. ඒ වන විට කපුගේ ගේ දෑතේ ඇඟිලිවල කොරයක් තිබුණි. මේ නිසා සර්පිනාවේ ස්වර සටහන් තබා ගැනීම අසීරු කරුණක් විය. නමුත් ඔහු ආපසු හරවා යැව්වේ නැත. තනි ඇඟිල්ලෙන් ස්වර සටහන් තබාගෙන ගීතයට අවශ්‍ය ස්වර ප්‍රස්ථාරය සකසා දුන්නේය. මේ ජනප්‍රිය ගායකයා ජානක වික්‍රමසිංහය.
කපුගේ තම සඟයන් සමඟ අවන්හලක් ළඟ නැවතිනි. ඔහු අසලට යාචක වෙසින් ආ පුද්ගලයකු “දරුවාට කිරිපිටි ගන්න” යැයි පවසමින් සිඟමන් ඉල්ලුවේය. කපුගේ තම සාක්කුවට අත දමා රුපියල් දහසේ නෝට්ටුවක් යාචකයාට දී “එහෙනම් කිරිපිටිත් අරගෙනම යනවා” යැයි පවසමින් සිය ස¼ඟයන් දෙස බැලීය.
“ඔය මිනිහා ඔය කළේ බොරුව.... කමක් නැහැ. ඌත් අපි වගේ මිනිහෙක්. මිනිහටත් හිතෙනවනේ අඩියක් ගහන්න... ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ?”
කපුගේ හැටි දන්නා සගයෝ කිසිත් කතා නොකළහ.
කපුගේ දැඩි මාක්ස්වාදී මත දැරූ පුද්ගලයෙකි. ඔහු අසීමිත ලෙස දුක් විඳින ජනතාව වෙත ළං විය. ඔවුන්ට හැකි හැම උදව් උපකාරයක්ම කළේය. ප්‍රභූ පැලැන්තිය සැම විටම ප්‍රතික්ෂේප කළේය. 2000 මාර්තු 13 දින අරලියගහ මැදුරේ සංගීත අසපුවක් සංවිධානය විය. එවක සිටි ජනාධිපතිනිය ප්‍රමුඛ මැති ඇමැතිවරු විශාල පිරිසක් එහි උන්හ. කපුගේ එහි ආරාධිත ගායකයෙකි... ඔහුගේ වාරයේදී නිවේදිකාව කපුගේගෙන් විමසුවේ
“....මේ අසිරිමත් හැන්දෑවේ ජනාධිපතිතුමිය ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ඉදිරියේ අරලියගහමන්දිරය තුළ, දැන් ඔබට ඇතිවන හැඟීම කෙබඳුද...?යන්නයි.
කපුගේ ගේ පිළිතුර වූයේ
“.....මම දේශපාලන පළිගැනීමකට අනුරාධපුරයට මාරු කරපු වෙලාවේ මට ආශිර්වාදයක් වුණු ඒ රජරට වැව් තාවුල්ලෙන් හැමූ හුළඟ කවදාවත්, අරලියගහ මන්දිරෙන්වත් රොස්ම්ඩ් පෙදෙසින්වත් මට හැමුවේ නැහැ...” යන්නයි. ප්‍රභූන්ගේ නළල් රැලි වැටුණි. තම කාර්යය හමාර කළ කපුගේ වහා එතනින් පිටවිය.

‘ළඟදිම මගෙන් අලූත් සිංදුවක්’ – නාමල් උඩුගම


”ප‍්‍රසංග වේදිකාවට නගින්න නම් මට ටික කලක් යයි. එ්ත් මම ආයෙත් සිංදු කියනවා. ළඟදිම මගේ අලූත් සිංදු කීපයක් එනවා” යැයි ප‍්‍රවීන ගායන ශිල්පි නාමල් උඩුගම මහතා පවසයි.

පසුගිය දිනවලදී රෝගාතුරව සිට ඉන්දියාවට ගොස් අක්මාවේ සැත්කමක් කොට නිරෝගී තත්ත්වයෙන් යළි දිවයිනට පැමිණ සිටියි.

”මගේ අසනීපෙ නිසා ගොඩක් අය මට උදව් කළා. මගේ පවුල දරුවන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් මට ජීවත්වෙන්න  ඕනෑ වුණා. මට උදව් කළ හැමෝටම ගොඩක් ස්තූතියි” යැයි ද නාමල් උඩුගම මහතා කියා සිටියේ ය.