Tuesday, August 9, 2011

දැනුම පොතට 01

දැනුම පොතට

කමතේ හරක් දැක්කීමේදී
භාවිත කරන සහැල්ල - අඬහැරය
දෙපයින් ගොයම් පාගන තැන - පාවර
කමතට ගෙනෙන ආහාරය - මූත්තෙට්ටුව
කුරුම්බා - කහපැන්
බුලත් මල්ල - කහට බොක්ක
ගොමමැටි ගා බිම සැකසීම - කමත ඇඹීම
කුලී වශයෙන් දෙන වී පංගුව - කොළ වලහන්
කිරි ඉතිරවීම - දේවකාරිය
ගව හිමියා - පට්ටිරාල
ගිනි මෙලවීම - රත්තා බෝකිරීම
තේ කහට - රතු ගඟුල් උගුර
කුකුළා - බිං පහුරා
උදැල්ල - බිංලියන්නාව
ආප්ප - කිරිකබලු
ඌරා - කන්බරියා
අලියා - මහ ඇඹයා
බුලත්විට - පැඟිරි විඩ
බොල් වී - සැහැල්ලු බෝය
මංගල ගොයම් පිඩ කමතේ තැබීම - උප්පිඩ

(පොත පත ඇසුරිනි)

Monday, August 8, 2011

“ජෝති නුඹ පීචං නැත නුඹ සුප්‍රබුද්ධය”

ජෝතිපාලගේ ගීතවලින් කෙළින්වීමට උත්සාහ දරන ස්ටාර් පන්නයේ සංගීත වැඩසටහන් සංවිධානය කරන ටෙලිවිෂන් ආයතනත් ඒ හරහා කෙළින් වීමට උත්සාහ දරන ස්ටාර්ස්ලාටත් යමක් කිව යුතුය.
එක් යුගයකදී හූවලින් බැට කෑ ජෝති තවත් යුගයකදී නැතුවම බැරි ගායකයා බවට පත්වීම දෛවයේ හාස්කමක්දැයි නොදනිමි.
ස්ටාර් පන්නයේ වැඩසටහන් කරන්නේ සල්ලි හොයන්නටය. ස්ටාර්ස්ලාත් උත්සාහ කරන්නේ සල්ලි හොයන්නටය.
දිවයින ඉරිදා සංග්‍රහයේ දුරකථනය නාදවෙන්නට පටන් ගත්තේය. බුලත් විටක් හපමින් සිටි ගුණසිංහ මහත්තයා වීදුරු කාමරයේ සිට මදෙස බැලුවේය. ඒ ඔහු හිස එසවූ විටම පෙනෙන්නේ මා නිසාය.
”සූරි ඔයාට”
ගාමිණී උස් හඩින් කිවේය. එවකට ගාමිණී සුමනසේකර අපේ ප්‍රධාන උපකර්තෘවරයාය.
මම එතැනට ගොස් දුරකථනය ගතිමි.
”මල්ලි... මං ජෝති. ආටිකල් එක ටොප්ස් මල්ලි. කියලා වැඩක් නෑ... සුපර්.. වේලාවක හම්බුවෙමු..”
ලක්ෂ ගණනක් රසික රසිකාවන් පිනවූ හඬ මා වෙනුවෙන් මා සොයා ගලා ආවේ ඒ විදියටය. ඒ මින් වසර ගණනාවකට පෙර එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේ දිනකය. හරි දින ගණන් මට මතක නැත.
”මේ පාර ලිපිය හරිම සංවේදීයි”
”ලස්සනට ලියල තිබුණා”
”ඉවර කරලා තිබුණු හැටි හරිම හොඳයි.”
බොහෝ දෙනා මට එවැනි ප්‍රතිචාර දැක්වූහ.
”මේ පාර නම් හරි නෑ..”
එසේ කී අය ද නැත්තේ නොවේ.
”මල්ලී වැඩේ ටොප්ස්”
අවුරුදු තිස් ගණනක පත්තර කෙරුවාව තුළ ඒ ජාතියේ විචාර මට ලැබී ඇත්තේ දෙවරක් පමණි. එසේ පැවසූ එක්කෙනෙක් එච්.ආර්.ජෝතිපාලය. අනෙක් කෙනා නිහාල් නෙල්සන් ය. එකම වෙනස ජෝතිගෙ “මල්ලී” වචනය වෙනුවට නිහාල් “කසුරි” යන්න යෙදීම පමණි.
ඒ කාලයේ මම දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් “කාලීන සංවාද” නම් වූ විශේෂාංග ලිපි පෙළක් සම්පාදනය කරමින් සිටියෙමි. මෙහිදී විවිධ කලාකරුවන්ගේ සරසවි ආචාර්ය මහාචාර්ය වරුන්ගේ අදහස් මතවාද පෙළ ගැස්වීමි. බොහෝ ආන්දෝලනාත්මක කරුණු ඒ ලිපිපෙළ තුළ අඩංගු විය.
අමරදේවයන්ගේ සිට නන්දා මාලිනී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි පමණක් නොව පී.වී.නන්දසිරි, වික්ටර් පෙරේරා වැනි සංගීතඥයන්, සතියෙන් සතිය පෙළගැස්වීමි. හමු නොවූ ගායකයකු නැති තරම්ය. අනෙකුත් කලාකරුවන් ද එසේ මය. ටයිටස් තොටවත්ත, සුගතපාල ද සිල්වා, වැනි අයද කාලීන සංවාද පිටුවට එක්වූහ.
එය ශාස්ත්‍රීය විශේෂාංග පළවූ කොටසට අයත් වූ පිටුවකි. සැබැවින්ම කියනවා නම් ගායක ගායිකාවෝ, විද්වත්හු මේ පිටුවට තම අදහස් කියාපාන්නට මහත් උනන්දුවක් දැක්වූහ.
”කාලීන සංවාද” ගැන මෙතරම් දීර්ඝ අටුවාවක් ලියන්නට සිත්වූයේ එක්තරා ඓතිහාසික කාරණාවක් කියාපාන්නටය. මේ කාරණාව මා මෙහි සඳහන් කරන්නේ මහා ආඩම්බරයකිනි.
මගේ මතකය නිවැරැදි නම් ජෝතිපාල නම් වූ පොදු ජන ගායකයාට සති අන්ත පුවත්පතක ශාස්ත්‍රීය පිටුවක් පුරා තම අදහස් කියාපාන්නට අවස්ථාවක් සැලසුණේ මේ කාලීන සංවාද ලිපි පෙළේදීය.
ජෝති ඊට පෙර රසිකයනට හමුවූයේ සිනමා හෝ කලා පුවත්පත් පිටුවලිනි. මහා විද්වතුන් සමඟ, ප්‍රබුද්ධ කලාකරුවන් සමඟ එකම පිටුවකට පය තබන්නට ජෝතිට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.
ඒ ජෝතිට ප්‍රබුද්ධ යැයි කියාගත් රසිකයන් හූ කියූ කාලයයි. ඒ කාලයේ සරසවි බිමකට ජෝතිට පය ගසන්නටවත් ඉඩක් ලැබුණේ නැත. සරසවි කාරයෝ හූ කීහ. සිංදු කීම අත්හැර වේදිකාවෙන් බැස යන තෙක්ම හූ කීහ.
වරක් ඔහු ගම්පහ නගර සභා පිටියට පැමිණි අවස්ථාවක ද කවුරුන් හෝ පිරිසක් හූ කියන්නට පටන් ගත් නමුත් එදා නම් එය එතරම් සාර්ථක වූයේ නැත. පාසල් සිසුවකු වශයෙන් මම ද එදා ජෝති ගේ ‘සිංදු’ අසන්නට එතැනට ගොස් සිටියෙමි.
එහෙත් කාලීන සංවාද සඳහා කලාකරුවන් පෙළගස්වන කාලයේ මම දවසක් දයාසේන ගුණසිංහ මහත්මයා හමුවීමි.
”ගුණසිංහ මහත්තය මට හිතෙනව වෙනසකටත් එක්ක ජෝතිව ගන්ඩ”
”මරු අදහස”
බුලත් විට අනෙක් හක්කට මාරු කරමින් ගුණසිංහ මහත්මයා කීවේය.
එහෙත් මම ඉන් පෙර කිසිම දවසක ජෝතිව හමුවී නැත්තෙමි. ඔහු මා හඳුනන්නේ ද නැත. දුරකථනයෙන් හෝ කතාකර නැත. මාලිගාවත්තේ නිවාස සංකීර්ණයේ සිටින බව අසා ඇති නමුත් ඒ කොතැනකදැයි හරි හැටි දැන සිටියේ ද නැත.
මෙහිදී මගේ උදව්වට ආවේ ඡායාරූප ශිල්පි ගාමිණී මෙන්ඩිස් ය. කලාකරුවන්ගේ ඡායාරූප ගැනීමට විශේෂ හැකියාවක් සහ ඇල්මක් දැක්වූ ගාමිණී “යමු” ජෝති මගෙ යාළුවා” යැයි කීවේය.
ඉන්පසු දිනෙක උදේ නවයට විතර ගාමිණී මාත් කැටුව මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ජෝතිගේ ‘ෆ්ලැට්’ එකට ගියේය.
එහෙත් කිසිවකු පෙනෙන්නට නැත. ගාමිණී ‘ජෝති.. ජෝති” කීවේය. එහෙත් සද්දයක් නැත. සරදියෙල් පැළැන්තියේ කොණ්ඩයක් ඇති උරහිස් පළල් කෙනෙක් දොර ඇරගෙන පැමිණියේය.
”ජෝති මහත්තයා පාන්දර ආවේ. සංගීත හතඅටක්ම... දැන් හොඳටම බුදි...”
”කියන්ඩ ගාමිණි මෙන්ඩිස් ඇවිල්ල කියලා හදිස්සියකට”
ගෝලයා ඇතුළට ගියේය. මිනිත්තු හතඅටක්ම බලාසිටින්නට අපට සිදුවිය. එය දහයක් දොළහක් දක්වා ඇදී ගියේය. අන්තිමේදී ජෝති නිදිගැට කඩමින් අප වෙත ආවේය.
”ගාමිණී මල්ලි පාන්දරම?”
”මේ අපේ ඉරිදා දිවයිනේ මහත්තයෙක්.. ජෝති අයිය ගැන ආටිකල් කරන්ඩ... කරුණාදාස සූරියආරච්චි” ගාමිණී කීවේය.
”ආ”
ජෝති එවැනි හඬක් නැඟූ නමුත් ඒ හඬෙහි විශේෂයෙන් මා නොදන්නා බව මොනවට පැහැදිලි විය.
පාසල් යන කාලයේ පටන් ආදරය කළ ගායකයා මා ඉදිරියේ සරම යම්තමින් ගැටගසාගෙන පපුවට මොනම ඇඳුමක්වත් නැතිව අවුල් වූ කෙස් රොද ඇඟිලිවලින් සකස් කරමින් සිටී.
”මල්ලි දැන් මොකක්ද කෙරෙන්ඩ ඕනෑ”
”මෙහෙමයි...” යනුවෙන් පටන්ගෙන කාලීන සංවාදපෙළෙහි තොරතුරු මම ජෝතිට කෙටියෙන් කීවෙමි.
”දැන් නම් මොනම ආටිකල් එකක්වත් කරන්ඩ බෑ.. පේන්නෙ නැද්ද මූණ එම්බාම් සයිස්.. පිංතූරයක් ගත්තත් අප්සැට්නෙ ගාමිණී මල්ලි... අනිත් එක අඳින්ඩ කියලත් හරිහමන් ෂර්ට් එකක් නෑ මං හිතන්නෙ..
එහෙම නෙමේ අපි වෙන දවසක කරමු. එදාට මම මල්ලිල වෙනුවෙන් දවසම වෙන්කරලා තියන්නම්. අනම් මනම් වැඩ මොකක්වත් නැතුව.. පාන්දර එළිවෙන ජාමෙට තමයි ආවේ... දන්නවනෙ ඉතින්..
ජෝති හඬ නඟා සිනාසුණේ නැතත් යම්තමින් සිනාසුණේය. ඔහු ඉතා වෙහෙසකර තත්ත්වයකින් සිටින බව තේරුම් ගැනීම අපට ද අපහසු නොවීය.
”එහෙනම් ජෝති අයිය දිනයක් දෙන්ඩ...”
”ලබන සඳුදා”
ඔය කියන ලබන සඳුදා පැමිණියේය. අදටත් තවමත් ආන්දෝලනයට ලක්වෙමින් තුඩ තුඩ කතාබහ වෙන අති සුවිශේෂ වචනය සහ ප්‍රකාශය පත්තර පිටු සොයා ගලාගියේ අන්න ඒ සඳුදා උදේ දහයට විතරය. මේ තරම් දීර්ඝ විස්තරයක් පෙළගැස්වූයේ ඒ “වචනය” කියාගන්නටය.
මාත් ගාමිණීත් ඒ සඳුදා උදේ නවයට විතර ජෝතිගේ ෆ්ලැට් එකට ගියෙමු.
සරදියෙල් පන්නයේ ගෝලයා අප එන මඟ බලා සිටියේය.
”ජෝති මහත්තයා පැය කාලෙන් එනවා කිව්වා. හදිස්සියෙම ගමනක් ගියා. සර්ලට ඉන්ඩ කිව්වා.”
පැය භාගයකින් විතර ජෝති හතිලමින් පැමිණියේය. ප්‍රමාදය පිළිබඳව සියවාරයක් පමණ සමාව ගත්තේය.
”යාළුවෙක් බලන්ඩ ඉස්පිරිතාලෙට ගියා.. පොඩි සපෝට් එකක් අරන් දෙන්ඩ.. ඒක හොඳයිනෙ නැද්ද ගාමිණී මල්ලි”
කතාබහ පටන්ගත්තේ එහෙමය. ජෝති බොහෝ දේ කීවේය. අන්තිමේදී ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
”මල්ලි ඔය කියන කට්ටිය, ප්‍රබුද්ධයිනෙ... එතකොට අපි කවුද”
ජෝති එක එල්ලේම ඇසු මේ ප්‍රශ්නයට දෙන්නට තරම් සුදුසු උත්තරයක් මා ළඟ තිබුණේ නැත. මම ගොත ගසන්නට වීමි.
”ඒ ගොල්ලො ප්‍රබුද්ධයි.. ජෝතිල ජනප්‍රියයි..”
”නෑ.. නෑ.. ඒගොල්ලොත් ජනප්‍රියයි. ඇත්තටම අපි කවුද මල්ලි හිතන විදියට”
මා ළඟ උත්තරයක් නැත. මම ජෝති දෙස බලා සිටිමි. මාළඟ තිබුණේ කරකියාගත හැකි දෙයක් නැතිවිට නැෙඟන තේරුමක් නැති මඳ සිනාවක් පමණි.
”මල්ලි ඒ ගොල්ලො ප්‍රබුද්ධයි. අපි පීචං”
ඔහු හඬ නඟා සිනාසුණ ද ඒ සිනාවේ කිසියම් ශෝකයක් ගැබ්ව තිබිණැයි මට සිතුණේ මා විසින් ලියූ ලිපිය කියවූ පසුවය.
”මල්ලි අපි පීචං.. හැබැයි මල්ලි අපි ස්ටේජ් එකට නඟින්නෙ පස්සෙ දෙන ලියුම් කවරෙ දිහා බලාගෙන නෙමෙයි. අපි සිංදු කිව්වෙ චියර් එකට... චියර් එක දුන්න නම් එළිවෙනකල් හරි සිංදු කිව්වා.
හැබැයි ඔය ප්‍රබුද්ධයි කියන කට්ටිය ලියුම් කවරේ බර ද කියල බලලා ඉවරවෙලා තමයි ස්ටේජ් නඟින්නෙ.
මල්ලි ඔය ප්‍රබුද්ධයි කියන කට්ටියත් පාටියකට ගියාම ට්‍රිප් එකක් යනකොට දෙකක් වදිනකොට කාගෙ සිංදුද මල්ලි කියන්නෙ.. පීචං අපේ සිංදු..
එකක් තියෙන්නෙ මල්ලි අපි ප්‍රබුද්ධ නෑ.. ඒත් අපි ගාව මනුස්සකම තියෙනවා... ඒගොල්ලන්ගේ සිංදුවල විතරයි මනුස්සකම තියෙන්නෙ. පපුවේ නෑ.. අපේ සිංදුවල තියෙන්නෙ.. ආලය, ප්‍රේමය විතරයි. ඒත් පපුවෙන් එකක් පුරෝල තියෙන්නෙ මනුස්සකම. අහිංසක මල්ලිලාගේ සංගීතවලට සල්ලි නැතුවත් සිංදු කියල තියෙනවා මල්ලි”
ජෝතිගේ අදහස් ඒ සති අන්තයේ පුවත්පතේ පළවූයේ “ඒගොල්ලො ප්‍රබුද්ධ නම්.. අපි පීචං..” යන සිරස්තලය යටතේය.
අඟහරුවාදා කන්තෝරුවට ගිය වහාම වාගේ දුරකථන ඇමතුමක් ලැබිණි.
”සූරි ඔයාට”
ගාමිණී සුපුරුදු පරිදි කීවේය.
”මං නිහාල් නෙල්සන්.. ජෝතිපාලට පිස්සුද... ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි. මට මේ ගැන කියන්ඩ දේවල් තියෙනවා.. මටත් චාන්ස් එකක් ඕනෑ... අලියගෙ තරම අලිය දන්නෙ නෑ. වාගේ.. ජෝතිපාලගෙ තරම ජෝතිපාල දන්නෙ නෑ..”
නිහාල් නෙල්සන් ආවේගශීලීව බොහෝ දේ කීවේය.
අපි නිහාල්ව සොයාගෙන කටුබැද්දට ගියෙමු.
ජෝතිපාල ගැන ලියන්නට ගොස් එයට සම්බන්ධ වූ නිහාල් ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත.
ඔහු ගයන්නේ “මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ” වැනි බයිලා වුවද ඔහුගේ ජීවිතය බයිලාවක් නොවේ. මම ඒ බව ඒ දිනවලදී ද සඳහන් කෙළෙමි. ඔහු මත්පැන් බිඳක් හෝ දුම්වැටියක් කටේ තියන්නේ නැත.
මම බොහෝ කලාකරුවන්ගේ නිවෙස්වලට ගොස් ඇත්තෙමි. ඒ දිනයේදී මා දුටු නිහාල්ගේ ආලින්දය තරම් සරල ආලින්දයක් මා දැක ඇත්නම් ඒ එකක් හෝ දෙකක් පමණි. සුවපහසු ගෘහයක් වුවද ඔහුගේ ආලින්දය සම්පූර්ණයෙන්ම වාගේ හිස්ය. පුටුවලට අමතරව තිබුණේ ඔහුගේ ඡායාරූපයක් පමණි. ඒක ගුණෙ අයියගෙ බජව් දාන කාමරයක් නම් නොවීය.
’ජෝතිගේ ලිපියත් නිහාල් නෙල්සන්ගේ ලිපියත් පළවු පසු කාලීන සංවාද ලිපි මාලාව අමුතුව මඟක් ගත්තේය. ජෝති පිළිබඳව මා දැන නොසිටි අප්‍රකට තොරතුරු අසන්නට ලැබුණේ ඉන් පසුවය.
ඉන්පසු සතියක මම කේමදාස මාස්ටර් හමුවන්නට ගියෙමි. දිවයින ඉරිදා සංග්‍රහයේ ශාස්ත්‍රීය පිටුවකට ජෝතිපාල කැඳවීම ගැන මාස්ටර් මට බොහෝ ප්‍රශංසා කෙළේය.
”මට චිත්‍රපටයක සංගීතය කරන්ඩ හම්බවුණා.. ඒක ටිකක් වාණිජ මට්ටමේ එකක්. හැමදාම ජෝතිගෙ හඬ තිරය පිටිපස්සෙන් ඇසෙන හින්ද මට හිතුණ මේකට වෙන ගායකයෙක් ගන්ඩ. හැබැයි චිත්‍රපටයේ නිෂ්පාදකයා මට පුන පුනා කිව්ව ජෝතිව ගන්ඩම කියලා.
චිත්‍රපටය කළා.. ඒ සිංදුව කිසිම පණක් නෑ.. චිත්‍රපටයේ සීන් එකම මලානික වෙලා ගිහින්.
පස්සෙ මම කිව්ව ජෝතිව එක්කරගෙන එන්ඩ කියලා.
ඒ පණිවුඩකාරයා ජෝතිව සොයාගෙන මාලිගාවත්තට ගියේය.
ඊයෙ රෑ එළිවෙනකල් බීලා. සංගීත පහක් ද හයක් ද.. මූණ එම්බාම්වෙලා.. වොයිස් එකක් නෑ.. මාස්ටර්ට කියන්ඩ වෙන දවසක් දාගන්ඩ නොවැරදීම එනව කියන්ඩ. අනේ මාස්ටර්ට කියන්ඩ තරහ වෙන්ඩනම් එපා කියලා..”
පණිවුඩකාරයා ආපසු විත් ඒ පණිවුඩය මාස්ටර්ට කීවේය.
”මට උත්තර එපා. මට ඕනෑ ජෝතිපාල.. මං කිව්වයි කියලා ඔහොමම ඔය මූඩ් එකෙන්ම එන්ඩ කියනවා”
ජෝතිපාල ආවේය. මාස්ටර් වරක් දෙවරක් සර්පිනාවෙන් තාලය අල්ලා දුන්නේය. ජෝතිපාල පෙම්වතාගේ දුක් ගීතය ගැයුවේය. තිරය පලාගෙන ජෝතිගේ හඬ පැතිර ගියේය.
”ජෝති මේ ගැන කාටවත් කියන්ඩ එපා..”
”ජෝති ගේ ඊළඟ ගුණේ තමයි කවදාවත් ඒ රහස හෙළිකෙරුවේ නැති එක. ඉයර් එකට සිංදු කියන්ඩ ජෝතිපාල තරම් කෙනෙක් මට ජීවිතේදිම හම්බවෙලා නෑ.” කේමදාස මාස්ටර් එදා මා සමඟ කීවේය.
”සමහර කලාකාරයො රට රටවල්වලට ගියාම එහෙ ඉන්න ලාංකිකයන්ට වාත වෙනවා. සිගරැට් බොනවා. ටෙලිෆෝනය ඉවරම කරලා දානවා. ඒත් ජෝති කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි.”
එහෙම කිව්වේ තවත් කලාකරුවෙකි.
දැන් මම මේ දීර්ඝ ලිපිය අවසන් කරන්නට මුල පුරමි.
ජෝතිපාල ගැන හදිසියෙන් ලියන්ඩ හිතුණේ ඔහුගේ ගීතවලින් කෙළින්වීමට උත්සාහ දරන ස්ටාර් පන්නයේ සංගීත වැඩසටහන් සංවිධානය කරන ටෙලිවිෂන් ආයතනත් ඒ හරහා කෙළින් වීමට උත්සාහ දරන ස්ටාර්ස්ලාටත් යමක් කිව යුතු බැවිනි.
එක් යුගයකදී හූවලින් බැට කෑ ජෝති තවත් යුගයකදී නැතුවම බැරි ගායකයා බවට පත්වීම දෛවයේ හාස්කමක්දැයි නොදනිමි.
ස්ටාර් පන්නයේ වැඩසටහන් කරන්නේ සල්ලි හොයන්නටය. ස්ටාර්ස්ලාත් උත්සාහ කරන්නේ සල්ලි හොයන්නටය.
”ජෝතිගේ සිංදු මිනිස්සු ඉල්ලනතාක් මං ජෝතිගේ සිංදු කියනවා.”
ස්ටාර් කෙනෙක් වූ සුරේන්ද්‍ර පෙරේරා කියා තිබිණි. සුරේන්ද්‍රට ජෝතිගේ හඬ සහ ගායන ශෛලිය පිහිටා තිබේ. එය වාසනාවකි. සුරේන්ද්‍ර අද ජීවත්වෙන්නේ ඒ වාසනා ගුණය නිසාය. ඒ වාසනා ගුණය නැති අය සුරේන්ද්‍රට ඊර්ෂ්‍යා කළ යුතු නැත. ස්ටාර්ලා හැමදෙනාටම ඒ වාසනා ගුණය නැත. ඒ නිසා ඔවුන්ට සංගීත ප්‍රසංග ලැබෙන්නේ නැත. ජෝතිගේ සී.ඩී. එකක් කරගන්නට නොහැකිය. ඒ ඉල්ලුමක් නැති නිසාය.
එහෙත් ජෝති තුළ තිබූ සියලු ගුණාංග සුරේන්ද්‍ර තුළ ඇද්දැයි මම නොදනිමි.
”මල්ලි අපි සිංදු කිව්වෙ මිනිස්සුන්ගෙ චියර් එකට.. කවරය දිහා බලන්නෙවත් නැතුව“
ඒ ජෝතිලාය. ඒකට කියන්නෙ මනුස්සකම කියලාය. හොඳ මනුස්සයෙක් කියන නම පමණක් ඉතිරිකොට තඹ දොයිතුවක්වත් ඉතිරි නොකොට ජෝති මියගියේය. ජෝතිගේ තරම් හැමදෙනාගේම හිත සවිමත් නැත. ඒ ඒ කාලයේය. දැන් චියර් එකට වඩා කවරය බලවත්ය.
ඒ ගැන දොසක් කියන්නටත් බැරිය. මුළු සමාජයම එහෙම වෙනස්වී ඇති බැවිනි.
එහෙත් ඛේදවාචකය මෙයයි. නාරද දිසාසේකර මියගියේ මහා සම්පතක් බඳු ගීතාවලියක් අපේ රටට ඉතිරි කරලාය. ආනන්ද සමරකෝන්, සී.ටී.ප්‍රනාන්දු, මොහිදින් බෙග්, කපුගේ, ෂෙල්ටන් පෙරේරා ආදීන් අපෙන් සමුගත්තේ එහෙම ධනයක් ඉතිරි කරලාය.
ජෝති සමුගත්තේ ද මහා ධනයක් ස්ථිර තැන්පතුවක තැන්පත් කරමිනි.
එහෙත් ස්ටාර් පන්නයේ තරුණ ගායකයන්ට අභියෝගයක් වන්නේ එවැන්නක් කළ හැකිවේද යන්නයි.
ජෝතිගේම සිංදු ඔවුන්ගේ සිංදු බවට පත්කොට ඒවා ඉතිරිකොට සමුගැනීමෙන් පලක් ඇද්දැයි හෙමින් සීරුවේ සිතා බැලීම වටී.


හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමී”
අනුන්ගේ ගීවලින් නම් මේ ගී සෑයවල් බැඳීමේ තේරුමක් නැත.